May Triple Gem Bless you!

1

May you be filled with loving-kindness!

1

May all beings be happy!

1

May all beings live in peace and harmony

1

May You attain the bliss of Nibbana

1

අසිරිමත් බුදු පිය තෙපුල් යළි ජීවමාන කරවමින් සුපින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ ඔබ අප වෙනුවෙන්ම ගෙනහැර පෑ ආශ්චර්‍යවත් ශ්‍රී සද්ධර්මය​
Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

පුරමු පින් අහසක් - වෙනුවෙන් පින්සාර හෙටක්..!!!

On Wednesday, April 27, 2011



නමෝ බුද්ධාය..!!!

දයාබර යාලුවනේ,
අපේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට තව තිබෙන්නෙ සති දෙකකට ටිකක් වැඩි කාලයක් විතර යි. ඉතින් ඒ අසිරිමත් දිනය උදාවන තෙක් බලා සිටින අපි හරියට පරිස්සම් වෙන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා...

ඔබ දන්නවා, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ, ලොකු බලවේගයක් සමග සුවිශාල යුද්ධයක් කරල යි. ඉතින් ඒ බලවේගය අදත් මේ ලෝකය පුරා ම තමන් ගේ අනසක පතුරුවනවා. භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධත්වය උදෙසා සැබෑ ම උපහාරයක් දැක්වීමෙන් අපව බැහැර කිරීම උදෙසා මේ දිනවලත් නොයෙක් දේ සිදු වන්නට පුලුවනි.

මාර බලවේගයේ ස්වරූපය තමයි සත්වයාව සසර තුළ ප්‍රමාදයට පත් කිරීම. ඒ උදෙසා විවිධ අරමුණු ලබා දීම් මගින් සත්වයා තුළ රාග ද්වේශ මෝහ ඇවිස්සීමයි එයින් සිදු කරනු ලබන්නේ. එයට හොදම උදාහරණ සපයන්නේ මාරතජ්ජනිය සූත්‍රය යි. ඉතින් සම්බුද්ධත්ව ජයන්තිය අභියස සිටින මේ දිනවලත් අප තුළ රාග ද්වේශ මෝහ ඇවිස්සීම උදෙසා නොයෙක් දේ බහුලව සිදු වන්නට පුලුවනි.

එක්කෝ තමන් වෙත ලාභ සත්කාර ළගා කොට ඒවාට ඇලීම ඇති වන්නට පුලුවනි. එහෙමත් නැත්නම්, තමන් ගේ හිතවතුනට, තමන් ගරුකරන අයට, නොයෙක් අයුරින් දොස් පවරා ඔබ තුළ පටිඝය ඇති කරවීමට එය නිමිත්තක් කරන්නට පුලුවනි. මේ විදියට සන්සිදීම නැතිවී යන අයුරින් නො සන්සුන් භාවය ඇති වන අයුරින්, වාද විවාද ඇති වන අයුරින්, නොයෙක් දේ වන්නට පුලුවනි...ඒ නිසා ඉතා ම පරිස්සම් වන්න..

කවුරුන් මොනවා අල්ලාගෙන කෑගැසුවත්, ඒවා කෙරෙහි තරහ සිත් ඇති කරගන්ට එපා. ගැටෙන්න යන්න එපා. වාද විවාද කරන්නට යන්ටත් එපා. නපුරු වචන භාවිතා කරන්නට එපා. එහෙම වුණොත්, අපි පැරදුනා වෙනවා..!!!

ප්‍රශංසා ලැබුණත් එයට ඇලෙන්නට එපා. අනවශ්‍ය ලෙස ඒවාට ඇලී ෆේස්බුක් වැනි කෙලෙස් බහුලව ඇති විය හැකි තැන්වල බහුල ලෙස කාලය ගත කරන්ට එපා.!!!

පුලුවන් තරම්, බුදු ගුණ භාවනාව වඩන්නට බලන්න.භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණයට ම මුල් තැන දී කටයුතු කරන්න. ඒ වගේ ම නිතර මෛත්‍රිය වඩන්නට බලන්න. ලාභසත්කාර වලට නො ඇලීම උදෙසා අනිත්‍ය සඤ්ඤාව පුරුදු කරන්න.!!!

ඉතින් මේ දවස් කිහිපය නිකරුණේ නාස්ති කර ගන්නේ නැතිව, සෑම දිනක ම ටික ටික නමුත් බණ භාවනාව පිණිස යොදවන්නට ඔබට හැකි වුවහොත්, උදාවන වෙසක් පුන් පොහෝ දිනයේ දි, සම්බුදු රජුන් උදෙසා සැබෑම ප්‍රතිපත්ති පූජාවක නිරත වූ බව සිහිකොට ඔබට ඉමහත් සතුටට පත් වන්නට හැකි වේවි..!!! එය එසේ ම වේවා..!!!

තෙරුවන් සරණයි..!!!

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිනම වන කොටස)

On Tuesday, April 19, 2011



556. සෝ භගවා ඉතිපි කාරුණිකෝ :- කරුණාවෙන් පිරි සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරුණික‘ වන සේක.

557. සෝ භගවා ඉතිපි කාරේතා :- සියලු යහපත් අර්ථයන් සිදු කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරේතා‘ වන සේක.

558. සෝ භගවා ඉතිපි කිරියවාදී :- කුසල් දහම් සිදු කිරිමට පවසන හෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘කිරියවාදී‘ වන සේක.

559. සෝ භගවා ඉතිපි කුසලෝ :- සියලු දහම් හි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘ කුසල‘ වන සේක.

559. සෝ භගවා ඉතිපි කුසලසීලෝ :- සිලයෙහි අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කුසලසීල‘ වන සේක.

560. සෝ භගවා ඉතිපි කුක්කුච්චවූපසන්තෝ :- කුකුස් සංසිඳවූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කුක්කුච්චවූපසන්ත‘ වන සේක.

561. සෝ භගවා ඉතිපි කේවලී :- සියලු ගුණයන් ගෙන් පරිපූර්ණ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කේවලී‘ වන සේක.

562. සෝ භගවා ඉතිපි කේතු :- තුන් ලොවට කොඩියක් බඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කේතු‘ වන සේක.

563. සෝ භගවා ඉතිපි කෝවිදෝ :- කුසල් දහම් හි අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කෝවිද‘ වන සේක.

564. සෝ භගවා ඉතිපි කෝටිගතෝ :- සසර කෙළවරට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කෝටිගත' වන සේක.

565. සෝ භගවා ඉතිපි කෝටිප්පත්තෝ :- සසර ඉම වෙත වැඩි හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කෝටිප්පත්ත' වන සේක.

සාදු! සාදු!! සාදු!!!

පිදෙමු ද.. මුනිඳු අභියස මලක් වී...!!!

On Monday, April 18, 2011





"අරලියා...., ඔබ සුන්දර යි, ඔබ පැහැපත්, ඒ වගේ ම සුවඳ යි! නමුත් ඔබ වෙත බඹරුන් වසන්නේ නෑ.."

හින්දි දේව කථා සාහිත්‍යයේ ඔය අදහස කැටිවුණු එක්තරා පාටයක් තිබෙනවා. හරියට ම කියනවා නම් මෙහෙම යි. "चम्पा तुझमें तीन गुण - रंग, रूप और बास  ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास ....චම්පා, තුජ් මේ තීන් ගුන් - රංග්. රූප්, ඕර් බාස් - අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්....--“අරලියා, නුඹ තුළ ගුණ තුනක් තිබේ, නුඹ වර්ණවත් ය, සුන්දර ය, සුවඳවත් ය.. එක් නුගුණක් ද නුඹ තුළ  වේ... නුඹ වෙත බඹරුන් නො පැමිණෙයි.."

දේවකථා සාහිත්‍යයේ අරලියා මල වෙත බඹරුන් නො පැමිණීම අඩුවක් හැටියට දක්වල තිබුණත්, මට නම් හිතුනේ ඒක සුවිශේෂී ගුණයක් කියල යි. අරලියා මලේ තිබෙන්නේ දැහැමි විරාගී සුවඳක්. 'ඒ නිසා ම යි ඒ වෙත බඹරුන් නො එන්නේ...' කියල මට හිතුනා..


දැහැමි විරාගී සුවඳක් හමන, බඹරුන් නො වසන, අරලියා මලක් වගේ ජීවිතයක් ඇති කර ගන්න අපිටත් බැරි ද..? ඇත්තෙන් ම පුලුවන්. හැබැයි ලොකු උත්සාහයක් දරන්න වෙනවා.

බුදු සමිඳුන් ගේ ධර්ම විනය තුළ කෙනෙක් වර්ණවත් වෙනවා කියන්නේ කුමකට ද..?

යම් කිසි කෙනෙක්, තමන් සමාදන් වුණු සිල්පද ඉතා හොඳින් ආරක්ෂා කරගෙන සිටිනවා නම්, කුඩා වරදේ පවා බිය දකිමින් කය වචනය සංවර කර ගන්නට උත්සාහ කරනවා නම් ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනය තුළ වර්ණවත් කෙනෙක්... ඒ විතරක් නෙවෙයි, ඒ විදියට සිල්වත් වෙන කෙනා ගේ ජීවිතේ සුවඳ වෙන්න පටන් ගන්නවා. දෙව්ලොවට පවා හමා යන සීල සුගන්ධයෙන් තමයි ඒ ජීවිතය සුවඳ ‍වෙන්නේ.. ඒ වගේ ම යම් කෙනෙකු ගෙන් ගැඹුරු දහම් කරුණු පිළිබඳ ව ගැටලු විමසන විට, ඒවාට නො පැකිල ව හොඳින් පිළිතුරු දෙන්නට හැකියාව තිබෙනවා නම් ඒ කෙනත් මේ ධර්ම විනය තුළ වර්ණවත් කෙනෙක්..

 ඊ ළඟට කෙනෙකුට තමන් ගේ ජීවිතය සමාධියෙන් ප්‍රඥාවෙන් සහ අනෙකුත් සියලු ගුණ ධර්මවලින් සුන්දර කර ගන්නට පුලුවන්. ඒ සඳහා ලොකු වෙහෙසක් දරන්නට වෙනවා. නමුත් කරන්නට බැරි දෙයක් නොවෙයි. එතකොට එයා වර්ණවත් සුන්දර මලක් වගේ වෙනවා..

සිලය ආරක්ෂා කර ගැනීම තුළින් හමා යන සිල් සුවඳ දෙව් ලොවට පවා පැතිරෙන බව අපි කිව්වා.. දුස්සීල භාවය දුර්ගන්ධයක් වනවා වගේ ම තවත් දුගඳ හමන දේවල් මිනිසුන් ගේ ජීවිත තුළ තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ, යම් කෙනෙක් තරහ ගන්නවා නම්, ඒක එයා ගෙ ජිවිතයෙන් හමා යන මස් ගඳ වගේ කියල යි. ඉතින් කෙනෙකුට පුලුවනි නම්, නිතර තරහ ගන්න එක දුරු කරලා, ව්‍යාපාදය බැහැර කරල, මෛත්‍රිය පුරුදු කරන්නට, එතකොට එයා ගෙ ජීවිතෙන් හමා ගිය මස් ගඳ දුරු වෙලා යනවා. ඒ වෙනුවට මුලු ලෝක සත්වයා වෙත ම මෛත්‍රී සුවඳ පැතිරිලා යනවා. ඒ සුවඳ තමන්ට විතරක් නොවෙයි, අන් අයටත් එකසේ විඳගන්න පුලුවනි...

කෙනෙකු ගේ ජීවිතය කරා ඇදෙන බඹරුන් කියන්නේ කවුද..?

ගඳ ගහන ජීවිතේකට නම් ඇදෙන්නෙ මැස්සො..එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා, යම් කෙනෙක් තමන් ගේ ජීවිතය දැඩි ලෝභයෙන් ඉඳුල් කරගෙන, ව්‍යාපාදය කියන මස් ගඳ වගුරුවන්න පටන් ගත්තා ම, එයා ගෙ ජීවිතයට පාපී අකුසල විතර්ක කියන මැස්සො වහන්න පටන් ගන්නවා කියල.

ඉතින් එතකොට යම් කෙනෙක් නිරන්තරයෙන්, රාගික ව කටයුතු කරනවා නම්, අකුසල් බරිතව හැසිරෙනවා නම්, එයාගෙ ජීවිතයට ඇදෙන්නේ කෙලෙස් බඹරුන්.. කෙලෙස් මැස්සන්.. ඇත්තෙන් ම ඒ ජීවිතේ පිළිකුල් සහගත යි..

අපිට පුලුවන් නම්, කාම විතර්ක ආදී පාපී අකුසල විතර්කයන් බැහැර කරල, විරාගී සිතුවිළි ඇති කරගෙන වාසය කරන්න.. අපිට පුලුවන් නම්, ලෝකයේ ඉන්න හැමෝම අපේ ම අක්කල අය්යල, නංගිල මල්ලිල හැටියට දකින්න.. අපිට පුලුවනි නම් ඒ අය දිහා රාගයෙන්, ද්වේශයෙන් බලනවා වෙනුවට, මෛත්‍රියෙන් කරුණාවෙන් බලන්න, එතකොට අපේ ජීවිතේට රාග බඹරුන් වහන්නෙත් නැහැ. කෙලෙස් මැස්සන් වහන්නෙත් නෑ.. අපේ මුලු ජීවිතේ ම විරාගී දැහැමි සුවඳ හමාගෙන යන අරලියා මලක් වගේ වෙනවා..


ඉතින්, උතුම් වෛශාක්‍ය මංගල්‍යය සැමරෙන මේ වසන්ත සමයේ, ඔබත් විරාගී-දැහැමි සුවඳ හමායන අරලියා මලක් වන්නට කැමති යි ද..? එවිට වෙසක් පුන්සඳ පායා එන ඒ සොඳුරු දිනයේ දී, විරාගී විජිතයේ දහම් රජු වූ බුදු සමිඳාණන් ගේ සිරි පා අබියස, දැහැමි අරලියා මලක් ලෙස පූජා වන්නට ඔබටත් හැකි වේවි..!!!

මෙත් සිල් සුවඳ විහිදෙන
කෙලෙස් බඹරුන් නොවසන
අරලියා මලක් වනු මැන
මුනිඳු අභියස පුදදෙන..!!!

තෙරුවන් සරණයි..!!!

ඔබට මෙය වටිනවා ද..?

On Saturday, April 16, 2011




ඔබට මේ ලෝකෙ තිබෙන වටින ම දේ මොකක් ද..? එහෙමත් නැත්නම් ඔබට සිටින වටින ම කෙනා කවුද..? කියල ඇහුවොත් නොයෙක් උත්තර ලැබේවි..ඇත්තට ම මේ ලෝකය අපි සත්‍යයක් විදියට ගන්න නිසා ම අපිට මේ ලෝකෙ නොයෙකුත් වටිනා දේවල් තිබෙන බව ඇත්ත යි..

වෙනත් විදියකින් කියනවා නම් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් අපි යථාර්තයක් විදියට ගන්නවා. ඒ නිසා ම අපිට මේ ලෝකයේ තිබෙන දේවල් හරි ම වටිනවා. අත් හැර දාන්න බැරි තරම් වටිනවා.

අපි යමකට දෙන වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ දේට තිබෙන අපේ කැමැත්ත වැඩි වෙනවා. වැඩියෙන් ම වටිනා දේවල්, අපි ගොඩක් ආදරයෙන් ආරක්ෂා කරගන්නවා. ඒ දේවල් ගැන වැඩියෙන් හිතනවා. සිහින මවනවා. ඒ දේවල් ගැන අනුන් එකක් කථා බහ කර කර ඉන්නවා.

බඩු බාහිරාදිය, යාලු මිත්‍රයින්, ගෙවල් දොරවල් වගේ භෞතික ලෝකයේ දේවල් සම්බන්ධයෙන් අපි වටිනාකම් දෙන්නෙත් හිතින්. ඒ වගේ ම තමයි මානසික අරමුණුවලටත් අපි වටිනාකම් දෙනවා. සංකල්පවලට, ආදරයට, ඒ විතරක් නොවෙයි වෛරයට පවා අපි ගොඩක් වටිනාකම් දෙනවා. ඒ නිසා ම ඒ දේවල් අපේ හිතේ බොහෝ කල් තැන්පත් වෙලා තියෙනවා. ඒ දේවල් අපි බොහොම කැමැත්තෙන් ආරක්ෂා කර ගන්නවා.

මානසික ව අපි යමකට වටිනාකමක් දෙන්න භාවිතා කරන ක්‍රම කිහිපයක් තිබෙනවා..
අපි යම් කිසි දෙයක් සම්බන්ධයෙන් ඇල්මක් ඇති කර ගත්තොත්, එහෙම වෙන්නේ ඒ දේට අපි වටිනාකමක් වැදගත් කමක් දුන්න නිස යි. ඒ වගේ ම අපි යම් කිසි දෙයකට ගැටුනොත්, ඒ ගැටීම ඇති වෙන්නෙත්, අපි ඒ දේට යම් වටිනාකමක් වැදගත් කමක් දෙන නිස යි. යමකට අපි භය වුණොත්, එහෙමත් නැත්නම් යමක් ගැන අපි රැවටීමට පත් වුණොත්, ඒ දේ වෙන්නෙත් අපි වටිනාකමක් වැදගත් කමක් දුන්න නිස යි.

ඔබ පාරෙ යනකොට ඕන තරම් ගහ කොල, තණකොළ රොඩු වගේ දේවල් දැකල ඇති. නමුත් ඒ එක දෙයක් ගැන වත් ඔබ ඕනවට වැඩිය හිතල තියෙනව ද..? ඒ දේවල් ඔබට කරදරයක් වෙලා තියෙනව ද.? නැවත නැවත මතක් වෙලා තියෙනව ද..? හොදට හිතල බලන්න. එහෙම වෙලා නැහැ. ඒකට හේතුව තමයි ඒ දේවල් අපිට වටින්නෙ නැති වීම. ඒ නිසා ම අපි ඒ දේවල් ගණන් ගන්නෙ නැහැ.


නමුත් ඔබ පාරෙ යනකොට, යම් ලස්සන දේකට ඇලුනොත් හරි, යම් අප්‍රිය දේකට ගැටණොත් හරි, යම් දේකට මුලා වෙලා භය වුණොත් හරි, ඒ දේ ඔබට නැවත නැවත මතක් වෙනවා. ඒ දේ ගැන සිහි වෙනවා. ඒක හිතට කරදරයක් වෙනවා. එහෙම වෙන්නේ, ඒ දේට අපි වටිනාකමක් දුන්න නිස යි. ඒ දේ අපි ගණන් ගත්ත නිස යි.

ඉතින් ඔබට තේරුනා ද අපි ලෝකයට වටිනාකම් දෙන්නේ, රාග ද්වේශ මෝහවලින්. යම් විදියකින් අපි මේ ලෝකයට වටිනාකම් දෙන එක නවත්වා දමන්න උත්සාහ කළොත් අපි තුළින් රාග ද්වේශ මෝහ දුරු වෙන්ට පටන් ගන්නවා. මේ ලෝකයේ සෑම දෙයක් ම තණකොළ රොඩු වගේ, නොවටිනා දේවල් හැටියට අපිට නුවණින් සළකන්නට පුලුවන් නම් එදාට අපි සෑම දුකකින් ම සෑම පීඩාවකින් ම සෑම බියකින් ම නිදහස් වෙනවා..

අධිමුත්ත මහරහතන් වහන්සේ මෙහෙම වදාළා..


‘‘තිණකට්‌ඨසමං ලෝකං, යදා පඤ්‌ඤාය පස්‌සති;
මමත්‌තං සෝ අසංවින්‌දං, ‘නත්‌ථි මේ’ති න සෝචති.

යම් දිනක ලෝකය තණකොළ රොඩුවලට සමකොට ප්‍රඥාවෙන් දකියි නම්, ඔහු මමත්වයක් නො ලබන්නේ, ‘මට (මෙය) නැතැ‘ යි ශෝක නො කරන්නේ ය.


ඉතින් බලන්න, අපි ලෝකයට වටිනාකම් දෙන නිසා තමයි, “මේ දේ මට නැහැ, මේ දේ මට නැහැ“ කිය කියා ශෝක කරන්නේ. අපිට ලෝකයට වටිනාකම් දෙන එක නතර කරන්නට පුලුවන් නම්, ලෝකය තණකොළ රොඩු වගේ ගණන් නො ගෙන ඉන්නට පුලුවන් නම්, අපි හැමදාම සතුටින්. අපිට යමක් ලැබුණත් එක යි. නො ලැබුණත් එක යි. ඒ සෑම දෙයක් ම තණකොළ රොඩු වගේ..

ලෝකය දිහා ඒ විදියට බලන එක ඉතා ම අසීරු දෙයක් වෙන්න පුලුවන්. ඇයි ඒ.. ? අපි ඒ තරම් ම මේ ලෝකයට වටිනාකම් දෙනවා. ලස්සන කාර් එකක්, ලස්සන කාන්තාවක් පිරිමියෙක් දිහා තණකොළ රොඩු දිහා බලනවා වගේ වටිනාකමක් නැති විදියට බලන්නෙ කොහොම ද..? ඔබ අසාවි.. නමුත් ඒ විදියට නො බලන තාක් කල් අපිට මේ සසරේ දුක් විදින්නට සිදු වෙනවා..


සමහර විට ඔබට හිතේවි ඒ වගේ දේවල් දිහා වටිනාකමක් නැති දෙයක් විදියට බලන එක වැරදි යි නේ..ඒව ඇත්තට ම වටිනවා නේ කියලා.. ඒක තමයි අපේ අවිද්‍යාව.. අපි මේ ලෝකයේ තිබෙන දේවල් සත්‍ය ලෙස ගන්නා නිසයි, අපිට ඒවා වටිනා දේවල් ලෙස පෙනෙන්නේ. නමුත් මේ ලෝකය සත්‍යවශයෙන් ම මහා බොරුවක්.. එහි වටිනා කියන කිසිම දෙයක් ඇත්තේ නැහැ.


තව දෙයක්, බලන්න අපිට ලෝකය නොවටිනා එකක් ලෙස කල්පනා කිරීම කෙතරම් දුෂ්කර වුණත්, රහතන් වහන්සේලා ඒ සියල්ල දිහා තණකොළ රොඩු දිහා බලනවා වගේ බැලුවා. උන්වහන්සේලා ගේ දැක්ම සහ සාමාන්‍ය ලෝකයා ගේ දැක්ම කෙතරම් පුදුම සහගත ලෙස පරස්පරයි ද..? අපි අත් හැර ගන්න බැරිව දුක වන විට, උන් වහන්සේලා සියල්ල අත්හැර සතුටු වුණේ, ඒ විශ්මිත දැක්ම නිස යි...

ඉතින් ඒ උතුමන් වහන්සේලා අනුව යමින්, ලෝකය වටිනාකමින් ශූන්‍ය හිස් දෙයක් ලෙස දකින්නට අපට වාසනාව ලැබේවා..!!!

සුවඳ වෙන්න කැමති යි ද..?

On Monday, April 11, 2011



සුවඳ වෙන්න හැමෝම කැමති යි.. එහෙම නේ ද..? ඒත් මේ කය ගඳයි.. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා අමුතුම (දු)ගන්ධයක් හමන්න ගන්නවා..

කොහොම වුණත්, ඔබ දන්නව ද, ඇත්තට ම මේ ශරීරයෙන් සුවඳ හමන අය මේ ලෝකෙ හිටියා. විස්වාස කළත් නැතත් මේ කියන්නේ ඒ වගේ උත්තමයෙක් ගැන.

සුවඳවත් සිරුරක් ඇති ව ඉපදුනු නිසා ම මේ පින්වන්තයාට නම තිබ්බේ සුගන්ධ කියල. පසුකාලෙක පැවිදි ජීවිතට පත් වුණ උන්වහන්සේ තමන් ගේ සිරුරෙන් හමා ගිය සුගන්ධය ගැන කියන මේ විස්තරය අහන්න..


මාගේ පිටතට හෙළන වාතය ද මුඛගන්ධය ද ශරීර ගන්ධය ද එසේ ම මාගේ දහදිය ගන්ධය ද සෑම විට ම අනෙක් සියලු සුවඳ ඉක්මවා පවතියි.

සෑම විට ම මාගේ මුව සුවඳ, නෙලුම් මානෙල් සපුමල් සුවඳ මේ වැනි යැයි පෙන්වමින් හමා යයි. මාගේ සිරුරේ සුවඳ ද එසේ ම යි.

පුදුම යි නේ ද..? සමහර විට අල්ප ශ්‍රද්ධාව ඇති කෙනෙකුට නම් පිළිගන්නට පවා අපහසු වෙන්න ඉඩ තියෙනවා. නමුත් සත්‍ය කියන දේ පිළිගැනීම හෝ නො පිළිගැනීම මත රදා පවතින්නෙ නැහැ.

කොහොම නමුත් මේ වගේ සුගන්ධවත් සිරුරක් ඇතිව උපදින්න හේතු වුණේ මොන වගේ පිනක් නිසා ද කියල දැන ගන්න එක අපි හැමෝට ම ප්‍රයෝජනවත් වේවි..!!!

කාශ්‍යප කියන මහාඉසිවර බුදු සමිඳුන් මේ ලෝකය බබුළුවපු කාලෙ, එක් තරුණයෙක් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයට සිත පහදවාගෙන පැවිදි බිමට පත් වුණා. ඒ විදියට පැවිදි වෙලා ටික කාලෙකින් ම බහුශ්‍රැත භාවයට පත්වෙලා, විචිත්‍ර වැටහීම් ශක්තියකින් යුතු වුණා.

ඉතින් උන්වහන්සේ මහා පිරිස් මැද, ඉතා සතුටු සිතින් යුතු ව ඒ ස්වර්ණවර්ණ වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ නැවත නැවත වර්ණනා කළා. ඒ විදියට වර්ණනා කරමින් පිරිස මැද ධර්ම කථාවක් කළා. ඉන් පසු ඒ ජීවිතය ගත වෙලා මරණයට පත් වුණාට පස්සේ, ඒ ස්වාමීන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා අපමණ සැප වින්දා..එතනින් චුත වෙලා අපේ බුදු රජාණන් වහන්සේ ගේ කාලෙ තමයි සුගන්ධ කියන නමින් මේ මිනිස් ලෝකෙ ඉපදුනේ.

තමන් වහන්සේ කලින් ජීවිතයේ දී සිදු කර ගත්ත පින සිහි කරමින් උන් වහන්සේ අපිට ගොඩක් දේවල් කියා දෙනවා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

උන්වහන්සේ කියා දෙනවා, බුදු රජාණන් වහන්සේ ගැන භක්තිය ඇති කෙනාට, ආයුෂ ගෙවිල ගියාට පස්සෙ නිවන පහසුවෙන් ලැබෙනවා කියල. බලන්න කලින් ජීවිතයේ දී කාශ්‍ය බුදු රජාණන් වහන්සේ ගැන භක්තියෙන් ඉඳල මිය පරලොව ගියාට පස්සෙ, අපේ බුදු රජාණන් වහන්සේ ගෙ කාලෙ උන්වහන්සේට නිවන් සුව ලැබුණා..

ඒ වගේ ම උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාන්ත වූ යසසට ඉතා හොඳින් වන්දනා කළා, ගරු කළා, ඒ නිසා යම් යම් තැනක ඉපදුනා ද ඒ හැම තැනක දි ම උන්වහන්සේ යසස් ඇති කෙනෙක් වුණා..

භාග්‍යවතුන් වහන්සේවත් ඒ අසංඛත ධර්මයත් වර්ණනා කරල අනෙක් සත්වයින්ට සැප ගෙන දෙන කෙනෙක් වුණ නිසා උන්වහන්සේ සැප ඇති කෙනෙක් වුණා.

ඉතා ම ප්‍රීතියෙන් බුදු රජාණන් වහන්සේ ගේ ගුණ කියල, තමන් වහන්සේ ගෙ සිතේ ත්, අනිත් අය ගෙ සිත්වලත් බුදු සමිඳුන් ගැන කැමැත්ත ඇති කරවපු නිසා, සිත් අලවන සුලු කෙනෙක් වුණා.

මිත්‍යා දෘෂ්ටික ජනසමූහයා මැද්දේ, භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ කියමින්, බුදු රජාණන් වහන්සේ ව බැබළවූ නිසා ඉතා පැහැපත් කෙනෙක් වුණා..

සම්මා සම්බුදු මුනිඳුන් ගේ ගුණ කියපු නිසා ම, සරා සද වගේ බොහෝ මිනිසුන්ට ප්‍රියංකර දර්ශනයකින් යුතු කෙනෙක් වුණා..

තමන්ට හැකි පමණින් සියලු වචනයන් ගෙන් භාග්‍යවතුන් වහන්සේට ස්තුති කළා. ඒ නිසා වාගීශ්වර වුණා. විසිතුරු වූ වැටහෙන නුවණින් යුතු වුණා..

සැකයෙන් යුතු ව යම් කිසි බාල මනුස්සයෙක් භාග්‍යවතුන් වහන්සේට නින්දා අපහාස කළා ද, ඒ අයට කරුණු සහිත ව නිග්‍රහ කළා. ඒ නිසා නිග්‍රහ නො ලබන කෙනෙක් වුණා.

බුදු ගුණ වර්ණනා කරලා සත්වයන් ගේ කෙලෙස් දුරු කළා. ඒ නිසා ම නිකෙලෙස් සිත් ඇති කෙනෙක් බවට පත් වුණා.

බුදු ගුණ සිහි කරමින් ධර්මය දේශනා කරලා, අන් අයට නුවණ ඉපදෙව්වා. ඒ නිසා ප්‍රඥා ඇති කෙනෙක් බවට පත් වෙලා, සියුම් වූ අර්ථ දැන ගන්නා කෙනෙක් බවට පත් වුණා. හැම ආශ්‍රවයක් ම ක්ෂය කරලා දර රහිත ගින්නක් නිවී යනවා වගේ පිරිනිවනට පත් වුණා.

ඒ කල්පයේ බුදු ගුණ වර්ණනා කළ නිසා එහි විපාක වශයෙන් නිවන් දකිනා ජීවිතය දක්වා ම දුගතිය ඉපදුනේ නැහැ...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතින් යාලුවනේ, බලන්න බුදු ගුණ වර්ණනා කිරීමේ විපාක අනන්ත යි අප්‍රමාණ යි..එහෙම වෙන්නෙ බුදු ගුණ අනන්ත නිසා, අප්‍රමාණ නිසා.

----

ඉතින් ඒ සම්බුදු සමිඳුන් ගේ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරෙන මේ යුගයේ ඔබත් හැකිතරම් බුදු ගුණ සිහි කරන්න. බුදු ගුණ කථා කරන්න. බුදු ගුණ වර්ණනා කරන්න. ඔබට මහා සැපතක් අත් වේවි...

හැබැයි තව පුංචි කරුණක් කියන්න ඕන. මේ දේ ඉතා ම වැදගත්. ඒ තමයි, ගොඩක් වෙලාවට, යම් කිසි කෙනෙක් පිනක් කරල ඒකට විපාක විඳිනවා අහන්ට ලැබෙන කොට, එහෙමත් නැත්නම් දකින්ට ලැබෙනකොට, බොහෝ දෙනෙක් තුළ ඇති වෙන්නේ ඒ සැපතට කැමැත්තක් විතර යි. ඒ කෙනා ඒ සැප ලබා ගන්න අනුගමනය කරපු ක්‍රමය අනුගමනය කරන්න බොහෝ අයට සිහියක්, කැමැත්තක් උපදින්නෙ නැහැ..

නමුත් සුගන්ධ ස්වාමීන් වහන්සේ ඒ විදියට බුදු ගුණ වර්ණනා කළේ, ශරීරයෙන් සුවඳ හමවා ගැනීමේ අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ නිසා ම උන්වහන්සේ ගේ සිතේ තිබුණේ බුද්ධාලම්බන ප්‍රීතිය පමණ යි. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි, ඒ සා මහා සැපතක් ලැබුවේ..

දැන් මේ පින ගැන අහල අපිත් බුදු ගුණ කියන්න හදන කොට, අපේ හිතේ බුද්ධාලම්බන ප්‍රීතිය මැඩගෙන, එයින් ලැබෙන විපාකයට කැමැත්තක් ඇති වුණොත්, අපේ හිත කෙලෙසෙනවා. ප්‍රීතිය වෙනුවට, කාමයන්ට තිබෙන කැමැත්ත ඉස්මතු වෙනවා. ඒ වගේ සිතකින් බුදු ගුණ වර්ණනා කළත් යම් විපාකයක් ලැබෙනවා ම තමයි. නමුත් ඒක මහත්ඵල මහානිසංස නැහැ. ඒක හොදින් සිතේ තබා ගන්න.

ඇත්තෙන් ම ඔබට බුදු ගුණ වැනීමේ විපාක ගැන ගොඩක් ම කිව්වේ, ඒ ගැන හිතල හෝ යම් කෙනෙක් බුදු ගුණ ගැන සිත පහදවා ගත්තොත්, හිස් වචන කථා කර කර ඉන්න කටවල් වලින්, එක ම එක බුදු ගුණයක් හරි කිව්වොත්, ඒ කෙනාට ඒ දේ දීර්ඝ කාලයක් සැපත පිණිස පවතින නිස යි. එහෙම නැතිව සැප සම්පත්වලට ළාමක ආශාවක් ඇති කරවන්න නොවෙයි..

ඒ නිසා ඔබත් බුදු ගුණ කියන කොට, කථා වෙනකොට, බුදු සමිඳුන් ගැන ම සිත පිහිටුවා ගන්න උත්සාහ කරන්න. මේ බුදු ගුණ අහල එක්කෙනෙක් ගෙ හෝ හිත නිවේවා, බුදු සමිඳුන් ගැන පැහැදීම ඇති කර ගනිත්වා, සැප ලබත්වා,නුවණ ලබත්වා, කියන කරුණාව මෛත්‍රිය ම ඇති කරගන්න..


එතකොට ඔබ කැමති වුණත් නැතත්, ඔබේ ජීවිතය සුවඳවත් වේවි.. නිවී සැනසෙන්නට ඒ පින ඒකාන්තයෙන් ම උපකාර වේවි..එය එසේ ම වේවා..!!!

සුගන්ධ මහරතන් වහන්සේ පෙර ජීවිතයක දී මහඉසිවර කාශ්‍යප බුදු සමිඳුන් ගේ ගුණ වර්ණනා කළ ආකාරය දළ වශයෙන් මේ විදියට ලියන්නම්.. ඔබේ සිත පහදවා ගන්නටත්, බුදු ගුණ දරාගෙන අන් අයවත් බුදු ගුණ කෙරෙහි ම පහදවන්නට ත් මෙය උපකාර වේවා..!!!

♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠

ඒ බුදු රජාණන් වහන්සේ, සොඳුරු සඳු මෙන් අස්වැසිලි ඇති කරන සේක. හිරු මෙන් අඳුරු ලොව එළිය කරන සේක. වැහිවලාවක් මෙන් කෙලෙස් ගිම් නිවලන සේක. මහසයුර මෙන් ගුණ මැණික් ආකරයක් වන සේක.

මහමුනිරජාණෝ සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමවත් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් කිසි තැනෙක නො ඇලෙන සේක.

මහමුනිරජාණෝ සසර සයුරින් ජයනා ගොඩලමින් සිවුසස් දහම් දෙසන සේක. දේවාතිදේව වනසේක. ස්වර්ණවර්ණ වන සේක.

දුරුකළ කෙලෙස් ඇති සේක. උවදුරු රහිත සේක. දුරු කළ සැක ඇති සේක. සියලු කර්ම ක්ෂය කළ සේක. සියලු දුකින් මිදී ගිය සේක.

මේ ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ය. මේ අනුත්තර වූ සිංහරාජයාණන් ය. දෙවියන් සහිත ලෝකයාට බ්‍රහ්මචක්‍රය පවත්වන සේක.

මහා ඉසි වන සේක. තමන් වහන්සේ දමනය වී මිනිසුන් දමනය කරන සේක. ශාන්ත වී ජනයා ශාන්ත කරන සේක. තමන් නිවීමට පත් වී අන් අයද නිවන සේක. තමන් අස්වැසුමට පත් වී ලෝකය අස්වසන සේක.

ඒ බුදුරජුන් වීර ය. ශූර ය. නැණවත් ය. පැණවත් ය. කාරුණික ය. ලෝකය වසඟ කළ සේක. දිනූ කෙලෙස් ඇති සේක. සොඳුරු ජීවිත පැවතුම් ඇති සේක. ආලය රහිත සේක.

සර්වඥයන් වහන්සේ තණ්හාව දුරු කළ සේක. නිශ්චල ය. නුවණැති සේක. මෝහය නැති සේක. අසමය. පරම වගකීම උසුලන්නේ ය. නාගය. සිංහය. ගුරුවරුන් අතරේ ශක්‍රයා වැනිය.

රාගය නැත්තේ ය. නිර්මල ය. ශ්‍රේෂ්ඨ ය. වාදින් අතරෙහි ශූර ය. පව් දුරු කළේ ය. රාගා දී හුල් නැති සේක. කෙළෙස් කිළිටු නැති සේක. අසමය. සන්සුන් ය. පිරිසිදු ය.

පව් බැහැර කළ සේක. කෙළස් සංවර කළ සේක. කෙලෙස් ලෙඩට වෙදැදුරාණෝ ය. මාර යුද්ධයෙහි යෝධයාණෝ ය. බුද්ධ ය. ලොවෙහි ප්‍රකට ය. සාරථී ය. නිශ්චලය. මුදිතාවෙන් යුතු වන සේක. ප්‍රමුදිත වූ සේක..

තෘප්තිමත් ය. මහාකරුණා ආදී ගුණ දන්නේ ය. කෙලෙස් නැසූ සේක. ශාන්තිය ඇති කරන්නේ ය. නිවන් මගට පමුණුවන්නේ ය. අමාදම් දෙසන්නේ ය. ශ්‍රාවකයන් සතුටට පත් කරන්නේ ය. සංසාර චක්‍රයේ අර බිඳලන්නේ ය. කෙලෙස් බන්ධන සිඳින්නේ ය. හික්මෙණු කැමති සත්වයන් ගේ හඬ, භවාග්‍රයෙහි සිට නමුත් අසන්නේ ය. යහපත් ගුණයට පසසන්නේ ය.

උවදුරු රහිත ය. සැක රහිත ය. තණ්හා විරහිත ය. කෙලෙස් දූවිලි රහිත ය. ඉවසන සේක. නිවන් මග වැඩි සේක. මග නො මග දෙසන සේක. හිත අහිත පවසන සේක.

සසරින් එතෙර කරවන සේක. යහපත සළසන සේක. නිවන සිදු කරන්නේ ය. කෙලෙස් ගල් කුළු පලා දමන සේක. නිවනට පමුණුවන සේක. දුටු දුටුවන් සිත් ගන්නේ ය. වීර්ය ඇති සේක. තපෝ ගුණ ඇති සේක.

සම සිත් ඇති සේක. අසමසම වන සේක. අසහාය වන සේක. දයා ගුණයට වාසස්ථානයක් වැනි ය. පරම ආශ්චර්යවත් ය. සියල්ල දන්නා සේක. නිවන පිණිස සියල්ල සිදු කළ සේක. වචනයෙන් විස්තර කළ නො හැකි තරම් අසිරිමත් වන සේක. මහා ඉසිවන සේක.

දුරු කළ සැක ඇති සේක. මාන රහිත ය. පමණ කළ නො හැකි ගුණ ඇති සේක. උපමා විශය ඉක්මවා ගිය සේක. වර්ණනා විෂය ඉක්මවා ගිය සේක. සියලු ධර්මයන් ගේ පරතෙරට වැඩි සේක. මරු පැරදවූ සේක..

සාදු සාදු සාදු...!!!




අල්ලන විට ඈත්ව​න - අත්හරින විට ළංව​න - සැනසිල්ල....

On Sunday, April 10, 2011



විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි...? ගොඩක් හේතු තියෙනවා.... විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්‍රයෝජනවත් වේවි.

↓↓↓

♦සැනසීම හැම වෙලේ ම අත්හැරීමට සාපේක්ෂයි.
♦ඒ නිසා ම අත්හරින්න අත්හරින්න සැනසීම ඔබට ළං වෙනවා.
♦හැම දෙයක් ම අත්හැරල දැම්මොත්, සැනසීම කවදාවත් ඔබෙන් දුරස් වෙන්නෙ නැහැ.
♦දේවල් අල්ලගන්න අල්ලගන්න, සැනසීම ඔබෙන් දුරස් වෙනවා.
♦එක ම දෙයක් හරි අල්ලගෙන හිටියොත්, සදා සැනසීම ඔබට හිමි වෙන්නෙ නැහැ.
♦සැනසීම 'මගේ' දෙයක් කර ගන්න උත්සාහ කරනකොට, ඒක ඔබෙන් ඈත් වෙනවා.
♦සැනසීම මගේ දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්න කොට, සැනසීම ඔබට ළංවෙනවා.
♦සැනසීම අල්ලගන්න උත්සාහ කරන කොට, ඔබට අහු වෙන්නේ දුක.
♦සැනසීම අල්ල ගන්න කරන වෑයම අත්හරින කොට, ඔබටත් හොරෙන් ම සැනසීම ඔබ ළඟට එනවා.
♦අනිත් අයගෙ සැනසීමට අකමැති වෙනකොට, ඒ සැනසීම ඈත් වෙන්නෙ, ඒ අයගෙන් නොවෙයි, ඔබෙන්...
♦අනිත් අය ගෙ සැනසීමට කැමති වෙනකොට, අනිත් අයට සැනසුම ප්‍රාර්ථනා කරනකොට, අනිත් අයට ඒ දේ ලැබුණත් නැතත්, ඔබ කරා සැනසුම එනවා.

>>ඉතින් ඒ නිසා සදා සැනසිල්ල ලබා ගන්න නම්, හැම දෙයක් ම අත්හරින්න. අන් අයගේ සතුට දැකල සතුටු වෙන්න. අන් අය ගේ සැනසුමට කැමති වෙලා ඒ පිණිස කටයුතු කරන්න. අන් අයගෙ සතුට සැනසුම වෙනුවෙන්, තමන්ගෙ දේවල් කැපකරන්න. එතකොට සදා සැනසුම ඔබව අත් නො හැර පවතීවි. එය එසේ ම වේවා..!!!
සදා සැනසිල්ල වේවා !!!


නමෝ බුද්ධාය​!

Related Posts with Thumbnails